Tuesday, April 5, 2016

සූර්යයා මහීකාන්තාවට කියූ කවිය








රැයක් දවාලක් නැහැ
හැමදා ම මහ මග ම

කැරකිලා මං වටේ
දොස් පරොස් ඇයි ඔබෙන්?
කැරකෙන්නේ මං නොවෙයි
 
කොපුල්තල පිරිමදිමි,
උදෑසන හැමදා ම.

දවල් වැඩ යමරෙට
 
මල් පියලි මත හිම ව,
පිනි කඳුලු අතුරන්න
බිම අතුල දිය බිංදු
අහස් කුස රන්දන්න,
මිහිකතේ ගී බුබුල
වැස්සක්ව වස්සන්න,
වැව් දියේ රළ නගන
මුදු සුළඟ උපදන්න,
 
වැඩ වැඩ හොඳටෝ ම වැඩ

විලි වහන කම්බිලිය,
කොළපාට කම්බිලිය
ආ! සැඳෑ පොරෝණය,
වියන්නෙත් මම ම නේ

ඉර සැර වැඩි ඇයිදෝ
නොදන්නා හැඩයි ඔබ?
 
 මං නිවාඩු හෙට සිට

Thursday, March 10, 2016

දබරය


 
ගෙරෙව්වා,
අකුණු ගැහුවා,
විදුලිත් කෙටුවා,
වැස්සා,
පොළොව තෙමුනා,
එච්චරයි.

 

ගොරවලා, ගොරවලා,
අහස අඟුරු තරමට කළුවෙලා
පොල් කරටි අළුවෙන්න  අකුණු ගහලා,
කටුනායකට, කලටුවාවට, හල්දුම්මුල්ලට,
ත්රිකුණාමලයට මිලි මීටර් සීයකටත් වැඩිවෙන්න
වහින්නෙ නම් නැහැ.



පින්තූරය http://champagnewhisky.com/2013/07/29/monday-rain/ අඩවියෙන්

Wednesday, March 2, 2016

රපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ - මහ දවල් දුටු විකාරරූපී සිහිනය



රපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ
දවල් දුටු හීනයක උණ්ඩකපුච්ඡයේ හිරවෙලා

දොලදුකට බිලිවෙලා සිරවුනු එක්ටැම් මැදුරෙ
දොර අගුළු ඇර ගන්න, ස්වර්ගීය ගී ගයන්න

රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න
රන්වන් තරප්පුව නැග හද ගැබට පිවිසෙන්න
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

රපන්සෙල්, රපන්සෙල්, බස්සිත් එක්ක ම ඛය්යාම් ඇවිත්
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

කුදු ගැහුනු ගොතෙල්ගෙ වෛරයෙන් ඇස් වැනසුනත්
ඔබෙ මිහිර විඳින්නට වරක් හෝ, කෙස් රෑන බිම ලන්න

Thursday, February 18, 2016

සුවාර වෙද පියසේ හමුවූ යුවතිය නදී වෙත




ඔබ ගලා බසී
සුසිනිඳු අතැඟිලි
සැරිසරයි ගත
ජනිත කරමින්
නොහිම් සිසිලස


ගිරිහෙල් මතින් වැටී
ගල්පර හිස පතිත වී
ඉසියි දා බිඳු සිරිකඩ
අහා සිසිලයි, සිසිලයි


ගලයි දිය නිහඬව ම
හාදු දෙයි රළ වැටිය
රළ නැගෙයි, රළ බිඳෙයි
රළ බිඳෙයි, රළ නැගෙයි
රඹ තෙත දඹ බිඳ, සිඳ
වාන් දමයි ඕඝය


නිසල දිය ගැඹුරු ය සන්සුන් ය
ජීවය යි ඔබ, පණ නල යි ඔබ
සුසිනිඳු අතැඟිලි සැරිසර යි ගත
සිසිලසයි, ජීවය යි, උණුහුමයි ඔබ

Tuesday, February 9, 2016

මුතු ඇටයක වත


මුතු ඇටයක වත


කටුව අතරින් රිංගලා
හොරෙන් ම
වැලි කැටයක්
 


කැවෙයි, දැවෙයි, පුපුරු එයි,
රිදුම් දෙයි, කකියයි, තැවුල් දෙයි
 


හැඩ වෙයි, ඔප වෙයි, බබළයි
වැඩෙයි ආගන්තුකයෙක්
 


මුතු ඇටයක්ව ඉපදෙන්න
බෙල්ලෙක්ව මිය යමි.
 
මරණය යි ඉපදුම

Wednesday, January 13, 2016

මේ ඇරයුම හීන දකින හැමටයි...

 
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ "හෝ ගානා පොකුණ" චිත්‍රපටය නැරඹීමේ පසු කම්පනයේ දී ලියමි.
"පවුලේ සැමට" ලෙස ලේබල් කර නිකුත් කරනා චිත්‍රපටයක සාර්ථකත්වය මැනීමට මට සරල මෙවලමක් ඇත. ඒ මගේ සය හැවිරිදි පුතුගේ රසඥතාවය යි. චිත්‍රපටය ඔහු අවදියෙන් තැබීමට සමත් නම් එය හොඳ පවුලේ චිත්‍රපටයකි. අවසන් වරට ඔහු මුළු චිත්‍රපටය පුරා ම අවදිව සිටියේ "ප්‍රවේගය" චිත්‍රපටයේදී ය. ඊට සපුරා ප්‍රතිවිරුද්ධ අන්තර්ගතයක් රැගත් "හෝ ගානා පොකුණ" වෙනුවෙන් ඔහු මෙවර අවදියෙන් සිටියේ ය. එපමණක් නොව අසීමිත ජවයකින් යුතුව මුළු චිත්‍රපටය ම වින්දනය කළේය.
" හෝ ගානා පොකුණ" 'ත්‍රිමාන' චිත්‍රපටයකි. එහි ළමුන් වෙනුවෙන් එක් මානයකි, පොඩි-හිටියන් වෙනුවෙන් එක් මානයකි, වැඩිහිටියන් සඳහා ම පමණක් තවත් මානයකි. මේ සියල්ල එක් චිත්‍රපටයකට කැටි කොට ගැනීම කිසිසේත් පහසු නැත. එහෙත් ඉන්දික ෆර්ඩිනැන්ඩු එම අසීරු අභියෝගය ජයගෙන තිබේ. එපමණක් නොව කාලයකට මතක හිටින තරමේ චිත්‍රපටයක් අප හමුවේ තබා තිබේ.
ළමා චිත්‍රපටයක් ලෙස "හෝ ගානා පොකුණ" සාර්ථක වන්නේ කතාව පුරාවට ම නිර්මාණය කිරීමට සමත් වී ඇති චරිත සහ සිද්ධි සමුදායේ අපූර්වත්වය නිසාය. පිළුණු වූ තේමාවකින් අපූරු නැවුම් රූප කාව්‍යයක් නිර්මාණය කිරීම ම දක්ෂතාවයක් නොවේ ද? කතා තේමාව සහ චරිත ළමුන් හා මනාව බද්ධවන්නේ මේ පාත්‍ර වර්ගයා අප අතර එදිනෙදා ජීවත්වන්නවුන් වන බැවිනි. උක්කුං වැනි 'ඇම්බැට්ටයෝ', 'මැරෑටි කොල්ලෝ' සෑම පාසැලක ම, සෑම පන්තියක ම සිටිති.මෙවැනි චරිත දුටුවිට ළමෝ තමුන්ගේ ලෝකයේ නම් මේ චරිතවලට ආදේශ කර ගනිති. මේ අත්දැකීම් ස්වීය කර ගනිති.
නගරයෙන් ගමට එන තරුණ ගුරුවරිය සුකුමාල ලලනාවක් නො වේ. ඇයගේ රූප සොබාවෙහි නිළි සොබාවක් ද නැත. මේ නිවසේදී ළමුන් දකිනා අම්මා වැනි ම වූ චරිතයකි. මේ අපේ පන්තියේ ටීචර් ම ය. එම නිසා ම ළමුන්ට ඇය හා අනන්‍ය වීමට අමුතු උත්සාහයක් දැරිය යුතු නැත. ඇය පන්ති කාමරයේ ම වීරවරිය යි. ඉතින් ප්‍රේක්ෂකාගාරයේ ළමෝ ද ඇය හා විනෝද චාරිකාවට සිහින මැවීම අරුමයක් වන්නේ කෙසේ ද ?
ළමා පරපුරට ආදර්ශ සපයන චිත්‍රපටයක් වෙනුවට සැබැවින් ළමුන් ජීවත්වන අන්දම පෙන්වන චිත්‍රපටයක් නිපදවීමට ඉන්දික සමත්වී තිබේ. අවවාද, අනුශාසනා කප්පරක් දේශනා ජීවිත මත බලෙන් ඔබ්බන්නට උත්සාහ කරන චරිත චිත්‍රපටයේ නැත. එවැනි දේ ට ළමුන් ඍණාත්මක ප්‍රතිචාර දක්වන බව ඉන්දික වටහාගෙන ඇති සේ ය. ඒ වෙනුවට කතාව පුරා ම දිව යන්නේ සියුම් දර්ශනයකි. සර්ව සුබවාදය පදනම් කරගත් සිහින හඹා යාමක් දෙසට චිත්‍රපටය ළමුන් කැඳවා යයි.
 
 
" හෝ ගානා පොකුණ" තම ළමා කාලය සිහි කරමින් අතීත කාමයේ යෙදෙන පොඩිහිටියන්ට ද වින්දනීය අත්දැකීමක් සඳහා මූලාශ්‍ර සපයයි. අද මැදිවියේ සහ පසු මැදිවියේ පසුවන ගමින් බිහිවූ වෘත්තිකයින් බොහොමයකට මේ චිත්‍රපටයේ දර්ශන ගෙනෙන්නේ සුන්දර මතක සටහන් ය. කාර්ය බහුලත්වය නිසාම ගමෙන් දුරස් වී සිටින්නන්ට අතීතකාමී සිතුවිලි තුළ ගිලී නිවී සැනහී යා හැකි මනහර සිතුවම් සිනමා සිත්තම පුරාම වේ. නිවසේ බිත්තියේ එල්ලා තබා රස විඳින්නට හැකි  දර්ශනතලය. තමන්ගේ මූලය වූ ගම වෙත භෞතිකව නොපිවිස ඒ ළමා කාලයේ වින්දනීය මතකයන් වෙත නැවත පිවිස සිය මනසේ වෙසෙන පොඩිත්තා සැනසීමට මේ සියල්ල සෑහේ.
චිත්‍රපටයේ අනෙක් මානය වන්නේ මනසින් වැඩිහිටියන් පමණක් ග්‍රහණය කර ගන්නා දේශපාලනික සහ දාර්ශනික තලය යි.මින් දේශපාලන තලය චිත්‍රපටයට බලයෙන් එබ්බවූවා දැයි සැක සිතෙන තරමට කතා වස්තුවට පිටතින් එල්ලෙයි. ගුරුවරියගේ පෙම්වතා නිරත වී සිටින දේශපාලනය සියුම් උපහාසයට ලක් කරමින් අරගලය ඇරඹිය යුත්තේ කොළොඹ වීථිවල නොව ගම්මානවල කර්කශ ජීවිත අසල සිට බවට ඉඟි පල කෙරෙයි. එම අදහස හා ලේඛකයාගේ ගැටළුවක් නොතිබුනද, පෙම්වතා හා ගුරුතුමියගේ සංවාද ඕලාරික බව සඳහන් කළ යුතු ම ය. කෙසේ වෙතත් සැකයේ වාසිය තිරරචකයාට ම දෙමින් එම සංවාද සහේතුකව, සබුද්ධිකව ඕලාරික කර වූවා යැයි සිතීමට ලේඛකයා කැමැති ය.
චිත්‍රපටයේ දාර්ශනික තලය ඉතාමත් පිරිපුන් ය. එය මුළු කතාව පුරා සියුම් හුයක් සේ දිව යනවාට අමතරව තැනින් තැන මතුවී අහසට නැගී පුපුරා යන මල්වෙඩි මෙන් අලංකාරයක් ද දනවයි. ජය ගැනීමට අවංක අවශ්‍යතාවයක් ඇත්නම් කිසිදු අභියෝගයක්, අභියෝගයක් නොවන බව මුළු චිත්‍රපටය පැතිර ඇති සර්ව සුබවාදී දර්ශනය යි. සිහින දකින්නන්, සිහින හඹාගොස් ජයගන්නා අයුරු තිරනාටකය අපට කියයි.
මෙවැනි සිහින හඹා යන්නෙකු පිළිබඳව මෑතකාලීන සාහිත්‍යයේ අපගේ සිහියට නැගෙන්නේ පාවුලෝ කොයියෝ (Paulo Coelho) ගේ   The Alchemist නවකතාවෙනි. එහි සන්තියාගෝ නම් එඬේර කොලුවා තමන් නැවත නැවත දකින සිහිනයක් හඹා යයි. ඒ හඹා යාමේදී ඔහු ලොව වටහා ගනියි, සිය අභ්‍යන්තරය ජය ගනියි. චිත්‍රපටයේ ගුරුවරිය සහ දරුවන් ද පසුව ගමෙහි සියළු වැඩිහිටියන්ද හඹායන්නේ මුළු ගම ම වෙනස් කරනා සිහිනයකි. මුහුද දැකීමේ අහිංසක ආසාවක් ලෙස අන්ධ දැරියකගේ සිතෙන් ඇරඹෙන සිහිනයක් යලි ආපසු නොහැරෙන ලෙස ගමක් ම වෙනස් කරයි. සිහින එතරම් බලගතු ය.
මල් වෙඩි සේ ඉහළ නැග අලංකාරවත් ව පිපිරී යන දාර්ශනික ප්‍රකාශන අතර කුඩා දරුවන් පවත්වන කතා, ගුරුවරිය රියැදුරු අසුනේ සිට කරන "මාව විශ්වාස කරන්න" යන ප්‍රකාශය මෙන් ම මාටින් අයියාගේ රියැදුරු බලපත්‍රය පිළිබඳ කතාවද සිහියට නැගේ. එවන් ප්‍රකාශ අතර දරුවන් විසින් වැඩිහිටියන්ට රිදෙන්න ම අනිනා ටොකු ද වේ. සිරගතවී සිටිනා ගැමියාගේ දරුවා විසින් සිදුකරන උදා රැස්වීමේ කතාව එවැන්නකි.
සාම්ප්‍රදායික චිත්‍රපට විචාරයකට අයත් රංගනය, කැමරාකරණය සහ සංස්කරණය ආදී තාක්ෂණික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් කතාවේ ආකෘතිය සහ රංගන රටා පිළිබඳව කෙටි සටහනක් තැබීම උචිත යැයි හැඟේ.
චිත්‍රපටය යථාර්ථවාදී නොවී, තරමක අධියථාර්ථවාදී ස්වරූපයක් උසුලන බව පෙනේ. ළමා නළුනිළියන් තෝරා ගැනීමේදී ද ගැමි පෙනුමට වඩා නාගරික පෙනුමක් සහිත දරුවන් තෝරාගෙන තිබෙනා බවක් පෙනේ. එය වෙළෙදපල පිළිබඳ දැනුවත් තෝරා ගැනීමක් ද වීමට ඉඩ ඇත. ඒ සමගම රංගන ශිල්පීන්ද අධිරංගනයක (over-acting) යෙදෙනු දැකිය හැක. ගුරුවරියගේ චරිතය ඒ අතරින් වඩාත නාටකීය ස්වරූපයක් ගනී. එහෙත් ලේඛකයාගේ අදහස නම් චිත්‍රපටයේ ආකෘතිය හා මෙම අධි රංගනයන් අතිශයින් සැසඳෙනා බවයි.
ඉන්දික ෆර්ඩිනැන්ඩු ස්ථර කිහිපයකින් රසවිඳිය හැකි අතිශය සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ. එහි අන්තර්ගත ග්‍රහණය කර ගැනීම ප්‍රේක්ෂකයාගේ නැණ-නුවණ මත රඳා පවතී. එවන් සිනමා කෘති දුර්ලභය. විශේෂයෙන් සිංහල සිනමාව තුළ ඉතා දුර්ලභ ය.
 
  1.  

Tuesday, December 8, 2015

ජූගත්සු සහ ජූනිගත්සු අතර





හදිසි හමුවක්
කොයො වැතිරිනු මාවතේ
ෆුජියාමා පාමුල





සකුරා මුකුල
දකිනට ගිවිසුම





සුබකි නේද අර ?

Friday, November 13, 2015

මට පෙම් කරනා කිවිඳියට




ඔබ මට පෙම් කරනා බැව්
පළව තිබුණ බ්ලොග් පිටුවක.


කුකවි මෙමා ගොතමි කෙසේ රස පද වැල්
පුදමි එහෙත් සඳ එළියේ තරු වැනි කව්.


වාසුකී නා දරණ යොත් පටින්
වෙලාගෙන මහ මේරු පව් රද
නා පෙණෙන් එන විෂෙන් දුබල ව
කිරි සයුර කළඹනා සුර'සුර'යුරු,
සිත් විලේ පද සොයමි කව් කරනට.


නෙක කලල් මතුව විත් මා පෙළයි.

නිසි ලෙසින් මුහු නොවුණු සිමෙන්තියෙන්
ගොඩ නගන වෙර දරන මැදුරක් ව ,

කවි සිතුම් බිඳ වැටෙයි යළි යළිදු.

මහ සයුරෙ ජල බිංදු
ගණින්නට කැස කවන අඳ බාලයකු සේ
නගන්නට වෙර දරමි කවියට
නැගෙන, බිඳෙන, යළි නැගෙන, බිඳෙන
සිතුවිලි.


කුකවි මෙමා ගොතමි කෙසේ රස පද වැල්
නොලියැවුණු කවියක් ව ම නවතිමි.

Thursday, November 12, 2015

මාදුළුවාවේ සෝභිත හිමි - ජනතාවගේ භික්ෂුව





සෝභිත හිමි පිලිබඳව යමක් ලිවිය යුතු ම නිසා ලියමි.

උන්වහන්සේගේ ශාසනික සේවාව පිලිබඳව සාකච්ඡා කිරීමට අදහස් නොකරමි. එය මාගේ වපසරියෙන් බැහැර ය. ඒ කෙසේ වෙතත් සෝභිත හිමිගේ සැබෑ වටිනාකම ඇත්තේ යතිවරයකු ලෙස නොව සමාජ ක්‍රියාකාරිකයකු ලෙස බව ය මාගේ හැඟීම.

සෝභිත හිමියෝ සමහර විටෙක සමාජ බලපෑම් කණ්ඩායමක සාමාජිකයකු ලෙසත්, තවත් සමහර විටෙක ඒක පුද්ගල බලපෑම් කණ්ඩායමක් ලෙසත් ක්‍රියා කළහ. රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු ම හා උන්වහන්සේ ගැටුණු බව ප්‍රසිද්ධ ය.ඉන් බොහොමයක දී ප්‍රගතිශීලී තීරණ රැසකට මැදිහත් වීමට උන්වහන්සේට හැකිවූ බවද නොරහසකි.

මෙහි "ප්‍රගතිශීලී" යන වදනට මා හා එකඟ නොවන, සෝභිත හිමියන්ගේ මරණය පිලිබඳ සතුටු වන ප්‍රවීණ ගීත රචක, වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර වැනි පිරිස්ද සිටින බව අප අමතක කල යුතු නැත. සිංහල බෞද්ධයින් පිරිසක් බෞද්ධ හිමි නමකගේ මරණයකින් සතුටු වෙත් නම්, ඒ උන්වහන්සේ අතින් ඔවුනට බලවත පාඩුවක් හෝ සිත් රිදවීමක් විය යුතු නිසාය. ඒ අදාල හිමිනම යම්කිසි කටයුත්තකට සක්‍රීය ව දායක වූ නිසා ම විය යුතුය. "නිර්පාක්ෂිකව" නොසිට "පාක්ෂික" වූ  නිසා ම විය යුතුය . වරදානවලට තෘෂ්ණාවෙන් බැඳී හඬ අවදි  කළ යුතු මොහොතවල නිහඬව සිටිනා සංඝ පීතෲවරු වැඩසිටින රටක, හඬ අවදි කල සෝභිත හිමි වැනි භික්ෂුන් අද සමාජයට අවශ්‍ය ම වේ.

රජය සෝභිත හිමිගේ දේහය අලෙවි කරන්නේ යැයි විවිධ පාර්ශවවලින් චෝදනා නැගුනද, උන්වහන්සේගේ සාධනීය ගුණාංගයන් පිලිබඳ ව සමාජ කතිකාවතක් ඇතිවී, ඒ ගුණාංගයන් සාමාජයීය භික්ෂුවක මැනීමට මිනුම් දණ්ඩක් වනු පිණිස මේ මාධ්‍ය සංදර්ශන යහපත් ය.

Thursday, October 29, 2015

(07) Congratulations young man, you are going to be a father


(07) Congratulations young man, you are going to be a father
 
සන්තුෂ්ගේ තොරතුරු ගබඩාවෙන් මා අද දින ඉදිරිපත් කරන්නේ දිනසටහන් කිහිපයකි. දැඩි මානසික ආතතියකින් යුතුව ලියූ බවක් ඔහුගේ සටහන් වලින් පෙනේ.
                           -ප්‍රසන්න
 
2010.04.10

ගබ්සාවක් සඳහා අවසානයේදී ඇය එකඟ වූවා . එය කිසිසේත් පහසු කටයුත්තක් වූයේ නැත. විකල්ප යෝජනාවකින් තොරව ඇය ගබ්සාව සඳහා විරුද්ධ වූවාය. එය ආගමික නිකායක් ගබ්සාවට විරුද්ධ වීමට කිසිසේත් වෙනස් වූයේ නැත. ඇයට අනුව ගබ්සාවෙන් විනාශවන්නේ ප්රාණයකි. දින කිහිපයක් වයසැති වුවද මගේ සිතුවිල්ල ඊට වෙනස් .

දැන් ගැටළුව ගබ්සාවක් සඳහා ඇය රැගෙන යන්නේ කොතැනකටද යන්නයි. ඇයගේ ජීවිතය අනතුරේ නොහෙලන ආරක්ෂාකාරී තැනක් ඊට සොයාගත යුතුවේ. මේ කටයුත්ත සති අන්තයකදී සිදු විය යුතුය. අප දෙදෙනාටම එකවර නිවාඩු ගත නොහැක. එය කටකතාවලට තටු ලැබීමට හොඳ මගයි. ඇයගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කළ යුතුව තිබේ.
 
2010.04.14

ගබ්සා මධ්යස්ථාන බොහෝ ගණනක් කිසිදු පහසුකමකින් තොර 'මස් මඩු' පමණි. එවැනි ස්ථානයක දී නතාලියා අවධානමට ලක් කිරීම කිසිසේත් කළ නොහැක. ස්ථාන කිහිපයකට මා කළ 'විමර්ශන' චාරිකා අවසන් වූයේ දැඩි හිසරදයක් ඇති කරමිනි.

 පමාවන සෑම දිනයක් අවධානම වැඩි කරයි. මේ සිංහල අවුරුදු දින කිහිපයේ බොහෝ වෛද්යවරු විදේශ ගත වෙති. අකමැත්තෙන් වුවත් තවත් දින කිහිපයක් ගත කළ යුතුව තිබේ. නතාලියා ඉක්මනින් 'යමක්' කළ යුතු බවට ඇවටිලි කරයි.

 2010.04.18

මානසික විවේකය නොමැති නිසා දිනපොත ලියැවෙන්නේද නැත. එහෙත් අද යම් ප්රගතියක් අත් කර ගැනීමට මාහට හැකි විණි. සුප්රසිද්ධ නාරි හා ප්රසව වෛද්යවරයකු හමුවීමට මා වේලාවක් වෙන් කර ගත්තේ ඔහුගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙනි. පැයක පමණ ප්රමාදයකින් පසුව ඔහු රෝගීන් පරීක්ෂා කිරීම ආරම්භ කළේය. අපගේ වාරය පැමිණි පසු ඔහුගේ කාමරයට ඇතුළු වූයෙමු.

“Good Morning”

“Good Morning Doctor”

නතාලියා රත් පැහැ ගැන්වී ඇත. ඇය බියපත් බවට සළකුණකි. වෛද්යවරයාට මේ පිළිබඳව කෙසේ පැවසිය යුතුදැයි අප දෙදෙනාට සැලසුමක් තිබුනේ නැත. ඔහුගේ දෝෂාරෝපණයට ලක්වීමට පවා අපි සූදානම් සිටියෙමු. මම නතාලියාගේ මුත් පරීක්ෂණ වාර්තාව ඔහු අත තැබීමි.

“Congratulations young man, you are going to be a father”

නතාලියා බිම බලා ගත්තාය. මම අසරණව වෛද්යවරයා දෙස බැලීමි.

“What is the problem? You look unhappy? Why you don’t want a baby? Are you two married?”

“No doctor we are not.”

“Oh I see. That is the problem. දැන් මොකද්ද කරන්න යන්නේ?”

“We can’t get married suddenly. So… we …..” මම අපහසුවෙන් වචන ගැලපීමි.

“I am sorry son. මම abortions කරන්නේ නැහැනේ. ඔය කරන තැන් ඕන තරම් තියෙන්නේ."

"Doctor එක තැනක්වත් safe නැහැනේ."

"ඔව් එක නම් එහෙම තමා. ඒකට මොකද කරන්නේ?"

“Can we do something doctor?”

"No I can’t මම උදව්වක් හැටියට තැනක් කියන්නම්. Mount Lavinia වල  xxx pharmacy එක. Tablet දෙකක් දෙයි. පාවිච්චි කරන විදිහත් කියයි. මගේ නම කියන්න එපා. මම උදව්වක් කරන්නේ.  Don’t put me in trouble" ඔහු බෙහෙත් වර්ග දෙකක නම ලියූ කුඩා කඩදාසි කැබැල්ලක් මා අත තැබීය.කොළයේ තිබූ වෛද්යවරයාගේ නිල මුද්රාව මුද්රිත කොටස ඔහු ඉරා ඉවත් කළේය.

“Thank you doctor.”

නතාලියාට රැකියා ස්ථානය බලා යන ලෙස උපදෙස් දුන් මම ගල්කිස්ස බලා පිටත් වූයෙමි. අදාල ෆාමසිය සොයා ගැනීම අපහසු වූයේ නැත. ඔසුසලේ හිමිකරු මගේ අවශ්යතාවය අවංක වූවක් බවත් මා කිසියම් රාජ් ආයතනයක නියෝජිතයකු නොවන බවත් වටහා ගත් පසු රුපියල් 8000 මුදලක් ගෙවා බෙහෙත් ලබා ගැනීමට හැකිවිය. ගබ්සා කටයුත්තක් මෙතරම් පහසු යැයි කිසිසේත් නොසිතුවෙමි.

 
Mifepristone සහ Misprostol පෙති දෙකෙන් පළමුවැන්න රාත්රියකදී ගැනීමටත්, ඉතිරි Misprostol පෙති 4, දෙක බැගින් දෙවරකට පැය 24 සහ පැය 48කදී ලබා ගැනීමටත් ඔසුසලෙන් උපදෙස් ලැබිණි. පළමු පෙත්තෙන් කලලයට ලැබෙන රුධිර සැපයුම නතර කර දැමීමත් ඉතිරි 4න් එය ඉවත් කිරීමත් සිදුවනු ඇති බවට අන්තර්ජාල සෙවීමකින් දැන ගැනීමට ලැබිණි. දෙවැනි  පෙති කට්ටලය අධික රුධිරවහනයක් ඇතිකිරීමටත් ගර්භාෂයේ සංචලන ඇති කිරීමටත් ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක් විණි. ඇයගේ නිවසට මෙය වසන් කිරීම ඊළඟ ගැටළුව යි.

2010.04.20

පළමු පෙත්ත එතරම් අතුරු ආබාධයකින් තොරව ගැනීමට නතාලියා සමත්වූ බව සුබ ආරංචියකි. එහෙත් පළමු පෙත්ත කිසිදු අපහසුතාවයක් ගෙන ඒමට නියමිත වූයේ නැත. ඇය අද රාත්රියේ  Misprostol පෙති දෙකක් පානය කළ යුතුය. වේදනාවක් දැනේ නම්, එය දරා ගැනීමට ඇයට ඇති හැකියාව අනුව මෙය තවදුරටත් සෙසු ලෝකයාගෙන් වසන් කිරීමට අපට හැකිවෙනු ඇත.

2010.04.21

රුධිර වහනය පිළිබඳ ප්රථම සළකුණු අද දක්නට ලැබුනු බව නතාලියා පැවසුවාය.බලාපොරොත්තු වූ තරමේ වේදනාවක්ද ඇතිවී නැත.

ඇය සැනසීම සහ සියල්ල හොඳින් සිදුවනු ඇති බව ඇයට ඒත්තු ගැන්වීම මගේ ප්රධානත කාර්ය්ය වී ඇත.

2010.04.22

දෙවන Misprostolපෙති කට්ටලයෙන් පසුව තරමක් දුරට රුධිර වහනය වැඩිවුවත් එය ප්රමාණවත්දැයි ඇයට සැක සහිත බව නතාලියා පැවසුවාය.

“I don’t know whether it is enough, but I am bleeding”

වේදනාවක් පිළිබඳ ඇය පැමිණිලි කළේ නැත. මගේ සිතේ සැකයක් මෝදු වෙයි. හෙටදිනයේ අදාල ෆාමසියට දුරකතන ඇමතුමක් ලබා දිය යුතුය.

2010.04.23

ෆාමසියෙන් ලැබුණු උපදෙස් අනුව නතාලියා අද තවත්  Misprostol පෙති කට්ටලයක් පානය කළාය. ෆාමසියේ හිමිකරුට අනුව නතාලියාගේ කලලය පිටවී නැත. ඔහුගේ ප්රකාශය සත් වීමට ඉඩ ඇත්තේ අමතර පෙති දෙක සඳහා ඔහු මුදල් අය නොකළ බැවිනි.

මගේ කිසිදු කටයුත්තක් මා අත තබන මුල් අවස්ථාවේ ඉටුවන්නේ නැත. Murphy’s Laws අනුව ‘Anything that can go wrong, will go wrong’ යන්න මා සඳහා නම් හොඳින් වලංගුය. එහෙත් මා මට ඇවැසි දේ ඉටුවන තෙක් අත් නොහරින්නෙක්මි.


2010.04.24

තෙවන පෙති කට්ටලයද නතාලියා කෙරෙහි වෙනසක් ඇති කිරීමට සමත් වූයේ නැත. මා හදිසියේ තීරණය කළේ වෛද්යවරයා හමුවීමට ඇය රැගෙන යාමටය. මගේ විස්තරයට සවන් දුන් ඔහු "We need to do a scan. There could be other complications, like the baby might be out of the womb. That’s a risk" කීවේය.

“Also this might happen if the baby is over 9 weeks old”

හෙදියගේ උපදෙස් මත මම Ultra Sound Scan පරීක්ෂණයකට මුදල් ගෙවා පැමිණියෙමි.


 වෛද්යවරයා scan පරීක්ෂණය සිදු කළේ . 

"Foetus is still there, but it is dead now. We need to do a womb wash to remove it. I can do it since it is dead now" ගබ්සාව කළ නොහැකි යැයි කියූ වෛද්යවරයා මේ? ගැන සිතීමට වෙලාව මෙය නොවේ.

“Ok doctor”

“I can give you tomorrow or day after, 4.00 pm both days. Where do you prefer, here or Durdans?”

“Durdans is ok with us”මම නතාලියා වෙනුවෙන් පිළිතුරු දුන්නෙමි.

" And tomorrow is fine also" මට අවශ් මේ කටයුත්ත හැකිතරම් ඉක්මනින් අවසන් කර ගැනීමට යි.

 Womb wash එකක් සිදු කිරීමට අවශ් යැයි වෛද්යවරයෙක් නිර්දේශ කළේ යැයි නතාලියාගේ මවට පැවසීමට අපි තීරණය කළෙමු.

 2010.04.25

මානසිකව සහ කායිකව වෙහෙසදායක දිනයක් ගත කළෙමි. ගර්භාෂය සේදීමෙන් පසුව නතාලියා ඇයගේ නිවසේ විවේක ගනියි. කුමන හේතුවක් නිසා එය සිදුකලේදැයි ඇයගේ මව විමසුවේ නැත. ඇය සියල්ල දැන සිටියි, නැතහොත් කිසිවක් ම නොදනී. මේ කිසිවක් ගැන වද වීමට මට දැන් නොහැක. මම අතීශයයෙන් වෙහෙසට පත්වී සිටිමි.