Tuesday, April 5, 2016

සූර්යයා මහීකාන්තාවට කියූ කවිය








රැයක් දවාලක් නැහැ
හැමදා ම මහ මග ම

කැරකිලා මං වටේ
දොස් පරොස් ඇයි ඔබෙන්?
කැරකෙන්නේ මං නොවෙයි
 
කොපුල්තල පිරිමදිමි,
උදෑසන හැමදා ම.

දවල් වැඩ යමරෙට
 
මල් පියලි මත හිම ව,
පිනි කඳුලු අතුරන්න
බිම අතුල දිය බිංදු
අහස් කුස රන්දන්න,
මිහිකතේ ගී බුබුල
වැස්සක්ව වස්සන්න,
වැව් දියේ රළ නගන
මුදු සුළඟ උපදන්න,
 
වැඩ වැඩ හොඳටෝ ම වැඩ

විලි වහන කම්බිලිය,
කොළපාට කම්බිලිය
ආ! සැඳෑ පොරෝණය,
වියන්නෙත් මම ම නේ

ඉර සැර වැඩි ඇයිදෝ
නොදන්නා හැඩයි ඔබ?
 
 මං නිවාඩු හෙට සිට

Thursday, March 10, 2016

දබරය


 
ගෙරෙව්වා,
අකුණු ගැහුවා,
විදුලිත් කෙටුවා,
වැස්සා,
පොළොව තෙමුනා,
එච්චරයි.

 

ගොරවලා, ගොරවලා,
අහස අඟුරු තරමට කළුවෙලා
පොල් කරටි අළුවෙන්න  අකුණු ගහලා,
කටුනායකට, කලටුවාවට, හල්දුම්මුල්ලට,
ත්රිකුණාමලයට මිලි මීටර් සීයකටත් වැඩිවෙන්න
වහින්නෙ නම් නැහැ.



පින්තූරය http://champagnewhisky.com/2013/07/29/monday-rain/ අඩවියෙන්

Wednesday, March 2, 2016

රපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ - මහ දවල් දුටු විකාරරූපී සිහිනය



රපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ
දවල් දුටු හීනයක උණ්ඩකපුච්ඡයේ හිරවෙලා

දොලදුකට බිලිවෙලා සිරවුනු එක්ටැම් මැදුරෙ
දොර අගුළු ඇර ගන්න, ස්වර්ගීය ගී ගයන්න

රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න
රන්වන් තරප්පුව නැග හද ගැබට පිවිසෙන්න
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

රපන්සෙල්, රපන්සෙල්, බස්සිත් එක්ක ම ඛය්යාම් ඇවිත්
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

කුදු ගැහුනු ගොතෙල්ගෙ වෛරයෙන් ඇස් වැනසුනත්
ඔබෙ මිහිර විඳින්නට වරක් හෝ, කෙස් රෑන බිම ලන්න

Thursday, February 18, 2016

සුවාර වෙද පියසේ හමුවූ යුවතිය නදී වෙත




ඔබ ගලා බසී
සුසිනිඳු අතැඟිලි
සැරිසරයි ගත
ජනිත කරමින්
නොහිම් සිසිලස


ගිරිහෙල් මතින් වැටී
ගල්පර හිස පතිත වී
ඉසියි දා බිඳු සිරිකඩ
අහා සිසිලයි, සිසිලයි


ගලයි දිය නිහඬව ම
හාදු දෙයි රළ වැටිය
රළ නැගෙයි, රළ බිඳෙයි
රළ බිඳෙයි, රළ නැගෙයි
රඹ තෙත දඹ බිඳ, සිඳ
වාන් දමයි ඕඝය


නිසල දිය ගැඹුරු ය සන්සුන් ය
ජීවය යි ඔබ, පණ නල යි ඔබ
සුසිනිඳු අතැඟිලි සැරිසර යි ගත
සිසිලසයි, ජීවය යි, උණුහුමයි ඔබ

Tuesday, February 9, 2016

මුතු ඇටයක වත


මුතු ඇටයක වත


කටුව අතරින් රිංගලා
හොරෙන් ම
වැලි කැටයක්
 


කැවෙයි, දැවෙයි, පුපුරු එයි,
රිදුම් දෙයි, කකියයි, තැවුල් දෙයි
 


හැඩ වෙයි, ඔප වෙයි, බබළයි
වැඩෙයි ආගන්තුකයෙක්
 


මුතු ඇටයක්ව ඉපදෙන්න
බෙල්ලෙක්ව මිය යමි.
 
මරණය යි ඉපදුම

Wednesday, January 13, 2016

මේ ඇරයුම හීන දකින හැමටයි...

 
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ "හෝ ගානා පොකුණ" චිත්‍රපටය නැරඹීමේ පසු කම්පනයේ දී ලියමි.
"පවුලේ සැමට" ලෙස ලේබල් කර නිකුත් කරනා චිත්‍රපටයක සාර්ථකත්වය මැනීමට මට සරල මෙවලමක් ඇත. ඒ මගේ සය හැවිරිදි පුතුගේ රසඥතාවය යි. චිත්‍රපටය ඔහු අවදියෙන් තැබීමට සමත් නම් එය හොඳ පවුලේ චිත්‍රපටයකි. අවසන් වරට ඔහු මුළු චිත්‍රපටය පුරා ම අවදිව සිටියේ "ප්‍රවේගය" චිත්‍රපටයේදී ය. ඊට සපුරා ප්‍රතිවිරුද්ධ අන්තර්ගතයක් රැගත් "හෝ ගානා පොකුණ" වෙනුවෙන් ඔහු මෙවර අවදියෙන් සිටියේ ය. එපමණක් නොව අසීමිත ජවයකින් යුතුව මුළු චිත්‍රපටය ම වින්දනය කළේය.
" හෝ ගානා පොකුණ" 'ත්‍රිමාන' චිත්‍රපටයකි. එහි ළමුන් වෙනුවෙන් එක් මානයකි, පොඩි-හිටියන් වෙනුවෙන් එක් මානයකි, වැඩිහිටියන් සඳහා ම පමණක් තවත් මානයකි. මේ සියල්ල එක් චිත්‍රපටයකට කැටි කොට ගැනීම කිසිසේත් පහසු නැත. එහෙත් ඉන්දික ෆර්ඩිනැන්ඩු එම අසීරු අභියෝගය ජයගෙන තිබේ. එපමණක් නොව කාලයකට මතක හිටින තරමේ චිත්‍රපටයක් අප හමුවේ තබා තිබේ.
ළමා චිත්‍රපටයක් ලෙස "හෝ ගානා පොකුණ" සාර්ථක වන්නේ කතාව පුරාවට ම නිර්මාණය කිරීමට සමත් වී ඇති චරිත සහ සිද්ධි සමුදායේ අපූර්වත්වය නිසාය. පිළුණු වූ තේමාවකින් අපූරු නැවුම් රූප කාව්‍යයක් නිර්මාණය කිරීම ම දක්ෂතාවයක් නොවේ ද? කතා තේමාව සහ චරිත ළමුන් හා මනාව බද්ධවන්නේ මේ පාත්‍ර වර්ගයා අප අතර එදිනෙදා ජීවත්වන්නවුන් වන බැවිනි. උක්කුං වැනි 'ඇම්බැට්ටයෝ', 'මැරෑටි කොල්ලෝ' සෑම පාසැලක ම, සෑම පන්තියක ම සිටිති.මෙවැනි චරිත දුටුවිට ළමෝ තමුන්ගේ ලෝකයේ නම් මේ චරිතවලට ආදේශ කර ගනිති. මේ අත්දැකීම් ස්වීය කර ගනිති.
නගරයෙන් ගමට එන තරුණ ගුරුවරිය සුකුමාල ලලනාවක් නො වේ. ඇයගේ රූප සොබාවෙහි නිළි සොබාවක් ද නැත. මේ නිවසේදී ළමුන් දකිනා අම්මා වැනි ම වූ චරිතයකි. මේ අපේ පන්තියේ ටීචර් ම ය. එම නිසා ම ළමුන්ට ඇය හා අනන්‍ය වීමට අමුතු උත්සාහයක් දැරිය යුතු නැත. ඇය පන්ති කාමරයේ ම වීරවරිය යි. ඉතින් ප්‍රේක්ෂකාගාරයේ ළමෝ ද ඇය හා විනෝද චාරිකාවට සිහින මැවීම අරුමයක් වන්නේ කෙසේ ද ?
ළමා පරපුරට ආදර්ශ සපයන චිත්‍රපටයක් වෙනුවට සැබැවින් ළමුන් ජීවත්වන අන්දම පෙන්වන චිත්‍රපටයක් නිපදවීමට ඉන්දික සමත්වී තිබේ. අවවාද, අනුශාසනා කප්පරක් දේශනා ජීවිත මත බලෙන් ඔබ්බන්නට උත්සාහ කරන චරිත චිත්‍රපටයේ නැත. එවැනි දේ ට ළමුන් ඍණාත්මක ප්‍රතිචාර දක්වන බව ඉන්දික වටහාගෙන ඇති සේ ය. ඒ වෙනුවට කතාව පුරා ම දිව යන්නේ සියුම් දර්ශනයකි. සර්ව සුබවාදය පදනම් කරගත් සිහින හඹා යාමක් දෙසට චිත්‍රපටය ළමුන් කැඳවා යයි.
 
 
" හෝ ගානා පොකුණ" තම ළමා කාලය සිහි කරමින් අතීත කාමයේ යෙදෙන පොඩිහිටියන්ට ද වින්දනීය අත්දැකීමක් සඳහා මූලාශ්‍ර සපයයි. අද මැදිවියේ සහ පසු මැදිවියේ පසුවන ගමින් බිහිවූ වෘත්තිකයින් බොහොමයකට මේ චිත්‍රපටයේ දර්ශන ගෙනෙන්නේ සුන්දර මතක සටහන් ය. කාර්ය බහුලත්වය නිසාම ගමෙන් දුරස් වී සිටින්නන්ට අතීතකාමී සිතුවිලි තුළ ගිලී නිවී සැනහී යා හැකි මනහර සිතුවම් සිනමා සිත්තම පුරාම වේ. නිවසේ බිත්තියේ එල්ලා තබා රස විඳින්නට හැකි  දර්ශනතලය. තමන්ගේ මූලය වූ ගම වෙත භෞතිකව නොපිවිස ඒ ළමා කාලයේ වින්දනීය මතකයන් වෙත නැවත පිවිස සිය මනසේ වෙසෙන පොඩිත්තා සැනසීමට මේ සියල්ල සෑහේ.
චිත්‍රපටයේ අනෙක් මානය වන්නේ මනසින් වැඩිහිටියන් පමණක් ග්‍රහණය කර ගන්නා දේශපාලනික සහ දාර්ශනික තලය යි.මින් දේශපාලන තලය චිත්‍රපටයට බලයෙන් එබ්බවූවා දැයි සැක සිතෙන තරමට කතා වස්තුවට පිටතින් එල්ලෙයි. ගුරුවරියගේ පෙම්වතා නිරත වී සිටින දේශපාලනය සියුම් උපහාසයට ලක් කරමින් අරගලය ඇරඹිය යුත්තේ කොළොඹ වීථිවල නොව ගම්මානවල කර්කශ ජීවිත අසල සිට බවට ඉඟි පල කෙරෙයි. එම අදහස හා ලේඛකයාගේ ගැටළුවක් නොතිබුනද, පෙම්වතා හා ගුරුතුමියගේ සංවාද ඕලාරික බව සඳහන් කළ යුතු ම ය. කෙසේ වෙතත් සැකයේ වාසිය තිරරචකයාට ම දෙමින් එම සංවාද සහේතුකව, සබුද්ධිකව ඕලාරික කර වූවා යැයි සිතීමට ලේඛකයා කැමැති ය.
චිත්‍රපටයේ දාර්ශනික තලය ඉතාමත් පිරිපුන් ය. එය මුළු කතාව පුරා සියුම් හුයක් සේ දිව යනවාට අමතරව තැනින් තැන මතුවී අහසට නැගී පුපුරා යන මල්වෙඩි මෙන් අලංකාරයක් ද දනවයි. ජය ගැනීමට අවංක අවශ්‍යතාවයක් ඇත්නම් කිසිදු අභියෝගයක්, අභියෝගයක් නොවන බව මුළු චිත්‍රපටය පැතිර ඇති සර්ව සුබවාදී දර්ශනය යි. සිහින දකින්නන්, සිහින හඹාගොස් ජයගන්නා අයුරු තිරනාටකය අපට කියයි.
මෙවැනි සිහින හඹා යන්නෙකු පිළිබඳව මෑතකාලීන සාහිත්‍යයේ අපගේ සිහියට නැගෙන්නේ පාවුලෝ කොයියෝ (Paulo Coelho) ගේ   The Alchemist නවකතාවෙනි. එහි සන්තියාගෝ නම් එඬේර කොලුවා තමන් නැවත නැවත දකින සිහිනයක් හඹා යයි. ඒ හඹා යාමේදී ඔහු ලොව වටහා ගනියි, සිය අභ්‍යන්තරය ජය ගනියි. චිත්‍රපටයේ ගුරුවරිය සහ දරුවන් ද පසුව ගමෙහි සියළු වැඩිහිටියන්ද හඹායන්නේ මුළු ගම ම වෙනස් කරනා සිහිනයකි. මුහුද දැකීමේ අහිංසක ආසාවක් ලෙස අන්ධ දැරියකගේ සිතෙන් ඇරඹෙන සිහිනයක් යලි ආපසු නොහැරෙන ලෙස ගමක් ම වෙනස් කරයි. සිහින එතරම් බලගතු ය.
මල් වෙඩි සේ ඉහළ නැග අලංකාරවත් ව පිපිරී යන දාර්ශනික ප්‍රකාශන අතර කුඩා දරුවන් පවත්වන කතා, ගුරුවරිය රියැදුරු අසුනේ සිට කරන "මාව විශ්වාස කරන්න" යන ප්‍රකාශය මෙන් ම මාටින් අයියාගේ රියැදුරු බලපත්‍රය පිළිබඳ කතාවද සිහියට නැගේ. එවන් ප්‍රකාශ අතර දරුවන් විසින් වැඩිහිටියන්ට රිදෙන්න ම අනිනා ටොකු ද වේ. සිරගතවී සිටිනා ගැමියාගේ දරුවා විසින් සිදුකරන උදා රැස්වීමේ කතාව එවැන්නකි.
සාම්ප්‍රදායික චිත්‍රපට විචාරයකට අයත් රංගනය, කැමරාකරණය සහ සංස්කරණය ආදී තාක්ෂණික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් කතාවේ ආකෘතිය සහ රංගන රටා පිළිබඳව කෙටි සටහනක් තැබීම උචිත යැයි හැඟේ.
චිත්‍රපටය යථාර්ථවාදී නොවී, තරමක අධියථාර්ථවාදී ස්වරූපයක් උසුලන බව පෙනේ. ළමා නළුනිළියන් තෝරා ගැනීමේදී ද ගැමි පෙනුමට වඩා නාගරික පෙනුමක් සහිත දරුවන් තෝරාගෙන තිබෙනා බවක් පෙනේ. එය වෙළෙදපල පිළිබඳ දැනුවත් තෝරා ගැනීමක් ද වීමට ඉඩ ඇත. ඒ සමගම රංගන ශිල්පීන්ද අධිරංගනයක (over-acting) යෙදෙනු දැකිය හැක. ගුරුවරියගේ චරිතය ඒ අතරින් වඩාත නාටකීය ස්වරූපයක් ගනී. එහෙත් ලේඛකයාගේ අදහස නම් චිත්‍රපටයේ ආකෘතිය හා මෙම අධි රංගනයන් අතිශයින් සැසඳෙනා බවයි.
ඉන්දික ෆර්ඩිනැන්ඩු ස්ථර කිහිපයකින් රසවිඳිය හැකි අතිශය සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ. එහි අන්තර්ගත ග්‍රහණය කර ගැනීම ප්‍රේක්ෂකයාගේ නැණ-නුවණ මත රඳා පවතී. එවන් සිනමා කෘති දුර්ලභය. විශේෂයෙන් සිංහල සිනමාව තුළ ඉතා දුර්ලභ ය.
 
  1.