Friday, November 13, 2015

මට පෙම් කරනා කිවිඳියට




ඔබ මට පෙම් කරනා බැව්
පළව තිබුණ බ්ලොග් පිටුවක.


කුකවි මෙමා ගොතමි කෙසේ රස පද වැල්
පුදමි එහෙත් සඳ එළියේ තරු වැනි කව්.


වාසුකී නා දරණ යොත් පටින්
වෙලාගෙන මහ මේරු පව් රද
නා පෙණෙන් එන විෂෙන් දුබල ව
කිරි සයුර කළඹනා සුර'සුර'යුරු,
සිත් විලේ පද සොයමි කව් කරනට.


නෙක කලල් මතුව විත් මා පෙළයි.

නිසි ලෙසින් මුහු නොවුණු සිමෙන්තියෙන්
ගොඩ නගන වෙර දරන මැදුරක් ව ,

කවි සිතුම් බිඳ වැටෙයි යළි යළිදු.

මහ සයුරෙ ජල බිංදු
ගණින්නට කැස කවන අඳ බාලයකු සේ
නගන්නට වෙර දරමි කවියට
නැගෙන, බිඳෙන, යළි නැගෙන, බිඳෙන
සිතුවිලි.


කුකවි මෙමා ගොතමි කෙසේ රස පද වැල්
නොලියැවුණු කවියක් ව ම නවතිමි.

No comments:

Post a Comment

Like to hear what you have to say.