Tuesday, November 5, 2013

(01) සන්තුෂ් සිය දිවි නසා ගැනීමට තැත් කරයි.

ප්‍රසන්න රත්නායක ලියන පිවිසුම - 2013 නොවැම්බර් 5 වැනිදා ලියයි

සන්තුෂ් තවමත් සිටින්නේ සිහිමුර්ජා තත්ත්වයක ය. ඔහුගේ තත්ත්වය ස්ථාවර වුවත් යහපත් නොමැත. වෛද්‍යවරු ඔහු නැවතත් සිහි නොලබාම මරණයට පත්විය හැකිබවට ඇති අවස්ථා බැහැර නොකරති. නිදි බෙහෙත් අධි මාත්‍රාව ඔහුගේ අක්මාවට හා වකුගඩුවලට හානි කොට තිබේ. සන්තුෂ්ගේ පාලනයෙන් මිදී ඇති ඔහුගේ සිරුර ඖෂධ සඳහා ප්‍රථිචාර දක්වන තෙක් බලා සිටීමට අප සැමට සිදුවී ඇත.

ඔහු නිදි පෙති පානය කල බව මාහට දැනුම් දුන්නේ කෙටි පණිවුඩයක් මගිනි. මා එය කිසිසේත් විශ්වාස කලේ නැත. මා දන්නා තරමින් සන්තුෂ්හට සිය දිවි නසා ගැනීමට තරම් හේතුවක් නොවිණි. ඔහු කිහිපවරක් විශාදය සඳහා ප්‍රතිකාර ලබාගත් බව මා දැන සිටි නමුත්, එය සිය දිවි නසා ගැනීමට තරම් දරුණු වූ බවක් මගේ මතකයට නොනැගේ. උසස් අධ්‍යාපනය ලද, විධායක ශ්‍රේණියේ රැකියා කරන අප අතර විශාදය අළුත් දෙයක් නොවේ. මා දන්නා බොහෝ දෙනෙක් අවම වශයෙන් වරක්වත් විශාදය සඳහා ප්‍රතිකාර ලබා සිටියහ.

නතාලියා සමඟ පැවති පෙම් සබඳතාවය නිමවීමෙන් පසු කාලයක් ඔහු දැඩි සිත් වේදනාවෙන් පසුවුවද වසරකට පමණ පෙරය. සියදිවි නසා ගැනීමට තැත් කිරීමට තරම් නැවුම් තුවාලයක් එහි තිබුනා විය නොහැක.

නිසාම මා ඔහුගේ කෙටි පණිවුඩය සැලකුවේ විහිළුවක් ලෙසිනි. එහෙත් එය එසේ නොවන බව වටහා ගැනීමට මා හට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“Pres, I took sleeping tablets - a lot” ඔහු හා මගේ සමීපතමයන් මා අමතන්නේ  Pres  නමිනි. මගේ නම වන ප්රසන්න කෙටි කර ගෙනය.

“What ?”

“yep, I am fed up. I need to go away from everything. This is enough. I can’t take anymore”

“Are you joking? What the fuck are you talking”

“No. I am not. I think I am dying now.

මොහොතේ මම ඔහුට දුරකතන ඇමතුමක් ලබා දුනිමි. ඔහු ඇමතුමට පිලිතුරු දුන්නේය.

"මොකද්ද යකෝ උඹ කියන්නේ? මොනවද උඹ කරගත්තේ ? ඔය ඇත්ත ? " මම ඔහුට බැන වැදුනෙමි.

"ඔව් ප්රෙස්, මම ටැබ්ලට් ටිකක් ගත්තා. දැන්නම් ටිකක් අමාරුයි වගේ. බඩ කැරකෙනවා. "

ඔහුගේ ස්වරය ඉතාමත් තැන්පත් . නිවී සැනසිල්ලේ වචන තෝරා ගන්නා බවක් පෙනෙයි. මේ විහිළුවක් නොවන බව ස්ථිරය. සන්තුෂ් මෙවන් විහිළු කරන්නෙක් නොවේ. ඊළඟ මොහොතේ මාහට දුරකතනය ඔස්සේ ඇසුනේ ඔහු වමනය කරන හඬයි.

“Hold on Santhush. I’m coming”

මා කෙටි පණිවිඩයක් යවා වහා ම පිටත් වීමට සූදානම් වීමි. ඒ අතර ම අප දෙදෙනාගේම මිතුරකු වන පියල් හට ඇමතුමක් ලබාදී ඔහු ගමනට සූදානම් කර ගතිමි. මේ සියල්ල මැද කලබල නොවී රිය ධාවනය කල හැකිබවට මට විශ්වාසයක් නොතිබිණි.

“ok. I’m trying. But I don’t think I can hold on. It’s painful”  ඔහුගේ පිලිතුරට මම කැලැඹුනෙමි.

“yes, you can. I’m coming. You must hold on.”

“In case I can’t , you must do me a favour. Password for all my online accounts is nathalia_2012”

“No. you can hold on.”

“on my email, FB & Box you will have lot of information. You may publish them.”

“you r not going to die.”

“evn if I dnt u cn pblish my stry aft 3 dys.”

“We’ll talk about it later”

“U R a bttr riter thn me”

ඔහුගේ තත්ත්වය අයහපත් බව එවන පණිවුඩ මගින් පැහැදිලි වේ. මම ඔහුට ඇමතුමක් ලබා ගතිමි. දුරකතනය බොහෝ වෙලාවක් නාද විණි. පිලිතුරු නොමැත.

“pres feeling awful.evrting trning upsde dwn.”

“hold on, Sun I am closeby”

“I thnk im going”

මා ඔහුගෙන් ලද අවසන් කෙටි පණිවුඩයි. කල්පයක් වැනි මිනිත්තු 15කින්, පිලිතුරු නොලද කෙටි පණිවුඩ හා ඇමතුම් 100කින් පමණ පසුව අපි සන්තුෂ් සිටි කුටියට ලඟා වූයෙමු. තවත් මිනිත්තු 10කින් පමණ පසුව ඔහු රෝහලක හදිසි ප්රතිකාර අංශයට ඇතුලත් කිරීමට අපට හැකි විය.

අද ඔහු රෝහල් ගතකර ගෙවෙන සිවුවන දිනයයි. පසුගිය දින තුන තුලම මා කලේ ඔහු මට ලබා දුන්  password එක යොදාගෙන සන්තුෂ්ගේ email සහ විවිධ දත්ත ගබඩා පරීක්ෂා කිරීමයි.

සිය දිවි නසා ගැනීමට ඔහු ගත් තීරණය පිළිබඳ මාහට කිසිදු හෝඩුවවක් ඉන් සොයාගත නොහැකි වුවත් එම තොරතුරු පාඨක ඔබට ඉදිරිපත් කිරීමට මම තීරණය කලෙමි. සන්තුෂ්ගේ කැමැත්ත අනුව හැකි සෑම තොරතුරක් ඔබ වෙත ඉදිරිපත් කිරීම මාගේ අභිලාෂය යි. සන්තුෂ් සිතන පරිදි මා ඔහුට වඩා දක්ෂ ලේඛකයකු දැයි මා නොදන්නා නිසා බොහෝ තොරතුරු ඉදිරිපත් කෙරෙන්නේ සංස්කරණයකින් තොරව . කතාවක් ලෙස ගලා යෑමට ඉඩ සැලසෙන පරිදි තොරතුරු ඉදිරිපත් කරන අනු පිලිවෙල තීරණය කොට ඇත. සඳහා සන්තුෂ්ගේ දත්ත ගබඩාවේ තිබූ දිනපොත් සටහන්, දුරකතන සංවාද හඬ පට, මේල්, යූ ටියුබ් වීඩියෝ දසුන්, ගීත, කවි සහ කෙටිකතා ආදිය යොදා ගැනේ. සන්තුෂ්ගේ කටයුතු සහ මගේ පුද්ගලික කටයුතු අතරමැද හැකි විගසින් මේ කතාව ඉදිරිපත් කර නිම කිරීම මගේ අරමුණ යි.ඔහුගේ කවකින් මේ ලිපිපෙල නම් කිරීම උචිත යැයි හැඟේ.

ආදරය

රත්
තෙත්
දෙතොල්
රත්
තෙත්
දෙනෙත්


සන්තුෂ්ගේ කතාව අනුව 'රත් තෙත් දෙතොල්' .

5 comments:

  1. මම කලින් පොස්ට් එකට දැන්මා කොමෙන්ටුවක් බලන්න

    ReplyDelete
  2. හොද ටික ඉස්සරහට නේද

    ReplyDelete
  3. මචෝ පිවිසුම නම් හොඳයි. අපි ඕපා දූප අහන්නේ නැති තැනකට ගෙනියහං. නවකයෙක් උනත් බොටත් හොඳ හැකියාවක් තියෙනවා. ඒත් අතීතයේ ඉඳලා කොමන්ට් කොටන මගේ කොමන්ට් ලියවිල්ලේ කැත බලහන්කෝ.

    ReplyDelete
  4. හරිම රසවත්. බලමු ඉදිරියට.

    ReplyDelete
  5. මේ ආක්‍යානය හොඳයි වගේ.

    ReplyDelete

Like to hear what you have to say.