Friday, November 15, 2013

(04) ඔබ මට තිලිණ වෙලා - They spend a night out

සන්තුෂ්ගේ දිනපොතෙන් - 2010.02.10

ප්‍රේමය මගේ ජීවිතය වෙලාගෙන ඇත. ඒ පිලිබඳව කිසිදු සැකයක් නොමැත. මම, නතාලියා හා මගේ සබඳතාවය ප්‍රේමයක් බවට පත් නොවීමට ගත යුතු සියලු පියවර ගතිමි. විටෙක උවමනාවෙන් ම ඇයගේ සිත රිදවීමි. තවත් විටෙක ඇය නොසලකා සිටියෙමි. එහෙත් ඉන් අත්වූ පලක් නැත. අද ඈ මගේ පෙම්වතිය වී සිටියි. ගින්දර සමග තිබූ පුළුන් ගිනිගෙන තිබේ !

ඈ සුන්දර යුවතියකි. දක්නා කෙනෙකුට නැවත හැරී බැලීමට සිතෙන තරමේ ලස්සනක් ඈ සතුය. ඈ හොදින් ආදරය කරයි. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා ඇය මගේ පෙම්වතිය කර ගැනීමට මා හට මැලිකමක් තිබිණි.ඒ ඇය වෙනත් කිසිවෙකු හා විවාහ වී සිටි නිසා ද? මගේ ජීවිතයේ මා සබඳතා පවත්වා ඇති යුවතියන් ගණන අතේ ඇගිලිවලට වඩා වැඩිය. ඔවුහු සියලු දෙනා ම කිසියම් ආකාරයක කටයුත්තක් සඳහා මා සමග යහන් ගත වූහ. එසේනම් මා සොයන්නේ කුමක් ද? නතාලියා බටහිර පැලන්තියට ගත කරන සරල දිවිය මා කැලඹීමට පත් කලා ද?  කෙසේවෙතත් මා මේ සියල්ල සිතමින් සිටිනා අතරතුර ම නතාලියා හා පෙමින් බැඳී තිබිණි.

අප පෙම්වතුන් වූ දිනය කවදාදැයි කියා මා මතකයේ නොමැත. ඒ සරල රේඛාවක දෙපසට බෙදා මින් පෙර මිතුරන්, මින් පෙර පෙම්වතුන් යැයි වෙන් කර ගත හැකි සබඳතාවක් නොවේ. මා ඇගේ අතින් අල්ලාගෙන සිටි දින ගණනත්, ඈ මගේ උරහිසේ හිස රඳවාගෙන සිටි පැය ගණනත් අප මිතුරන් ව සිටි අවධියේද බොහෝ ය. ඒ මොහොතේ අප මිතුදම සහ පෙම්දම අතර හැඟීමක දෝලනය වෙමින් සිටියෙමු. එහෙත් එක් දිනක, එක් මොහොතක මා-ඇය දෙතොල් පැටළුනු මොහොතක් එළැඹිනි. ඉන් පසුගමනක් නොවිණි.

අමා දිය
ගලා එන
ගඟ'ස
නැවියෙකි මා
සොයනා නැවතුම්
දෙතොල් ඉවුරු බඩ

ඊයේ දිනය ඒ සියල්ල ට ම වඩා සුවිශේෂය. ප්‍රථම දෙතොල් සිප ගැනීමෙන් පසු මේ ගමන කොයි දෙසකට ද කියා අපි දෙදෙනාම දැන සිටියෙමු. වැඩිහිටියන්වූ අප පෙම්වතුන් වූ පසු, පෙම්වතිය පලමු විවාහයෙන් වෙන්වී සිටින්නියක් නම් තැනෙන මාවත දෙසට අපි පියමනිමින් සිටියෙමු. ඒ මාහටත් වඩා නතාලියාට අවශ්‍ය වූ බවක් පෙනිණි. ඒ මා ඇය හා මගේ දිවිය බෙදා ගැනීමට එකඟ වූ නිසා කෘතගුණ සැලකීමක් ලෙසද, නැතහොත් ඇයගේ ශාරීරික අවශ්‍යතා මත ද යන්න මට ද ගැටළුවක් වූයේ නැත. ඒ අනුව අප දෙදෙනාගේ ප්‍රථම සංචාරය සැලසුම් විණි. ඒ ගමන අවසන් වූ අද, මම දිනපොතෙහි ඒ ආශ්වාදය සටහන් කරමි.

ගමන සැලසුම් වූයේ ඇයට ඇවැසි ලෙසට ය. කසාදය අතහැරී නිවසට වී සිටින තරුණ දියණියක් කොහේ හෝ තැනක රාත්‍රියක් ගත කරන්නට සැලසුම් කරන පහසු ආකාරය දැක මම ඇගේ මෑණියන් ගැන මවිත වී මි. සංස්කෘතියේ වෙනස හෝ මවගේ නොසැලකිලිමත් බව යැයි සිතා, සිත හදා ගතිමි. රයන්ට පසුව තවත් කීදෙනෙකු හා ඇය මෙවැනි ගමන් යන්නට ඇතිදැයි මට නොසිතුනා නොවේ. එහෙත් ඈ කුඩා දැරියක සේ උද්‍යෝගයෙන් ගමන සැලසුම් කරනු දැක සතුටු වී මි.


ගමන ඇරඹුණු මොහොතේ පටන් ඇය ඉතා සැහැල්ලුවෙන් හැසිරුනා . මගේ උරහිසේ හිස හොවාගෙන Arash ගේ I am so lonely Broken Angel ගීතය මුමුණමින් සිටියාය. රථය සෙමින් ධාවනය කරමින් මම ඇගේ උණුසුම විඳින්නට තැත් කළෙමි.

"සන්තුෂ් ඔයා මොකද කල්පනා කරන්නේ? ඇය ගීතයෙන් මිදෙමින් ඇසුවාය.

"මොනවත් නැහැ."

"You must be thinking of me. මං නරක ගෑණියෙක් කියලා හිතනවා ඇති. මං එහෙම නෑ"

"ඔයා නරකයි කියලා මං හිතුවේ නෑ, මං එහෙම කිව්වෙත් නැහැ.මට ඔයාව තේරුම් ගන්න පුළුවන්."

"මා තේරුම් ගත්ත කෙනෙක් හිටියේ නැහැ සන්තුෂ්. You are the only one who truly loved me. ඔයා විතරයි මං ගැන සැලකිලිමත් වුනේ. I want to thank you for that bub "

"Don't worry about those things now. Let us spend these days together. මං දන්නවා මේ දවස් අපිට සතුටක් ගෙනෙයි."

"Thanks bub."

ඇය මට බබා යයි අමතා දැන් එය තවත් කෙටි කොට  Bub නමින් මා අමතයි.

මීගමුව වෙරළේ කුඩා සංචාරක නිකේතනයක් අපේ නවාතැන විය. සවස් යාමයේ එහි පැමිණ, රාත්‍රිය ගතකොට පසුදින දිවා ආහාරයෙන් පසුව පිටත්ව යාම අපගේ අරමුණ විය.
සංචාරක නිකේතනයට පැමිණි අපි මුහුදු වෙරළට විත් සවස් යාමය ගත කිරීමට තීරණය කළෙමු. මගේ ආදර සබඳතා මුහුදු වෙරළ හා පුදුමාකාර බැඳීමක් තිබිණි. මංජුලා නමින් දෙදෙනෙකු, චන්දිමා නමින් දෙදෙනෙකු, චංචලා නමින් හා ඉනෝකා නමින් එක් අයෙකු ලෙස අරුම පුදුම වූ මගේ පෙම්වතියන් ලැයිස්තුවෙන් බොහෝ දෙනෙකු හා මුහුද හා සබැඳුනු අත්දැකීම් තිබේ.
සවස් කල බැසයන හිරු එළිය හා යන්තමින් දෙපා තෙමෙනා රළ රැළි මගේ සිතේ ඇති කළේ අමුතු ම චමත්කාරයකි. ඒ සමග ම මා උරහිසේ හිස හොවා ගෙන සිටිනා සිත් ගත් යුවතියක් සිටීනම් තවත් කුමන සතුටක් ද?
නතාලියා කැඳවාගෙන මගේ කැමරාවද රැගෙන මා වෙරළ කරා දිව ගියේ කාමරයේ සිදුවීමට නියමිත කර්තව්‍යය හදිසියේ සිදුවනු වැලක්වීමත් සිත් කොනක රඳවා ගෙනය. හදිසියේ සිදුවන ලිංගික කටයුත්තකට වඩා කෙමෙන් කෙමෙන් මෝදු වී පරිසමාප්තියට පත්වන තෘප්තියකට මම ප්‍රියැත්තෙමි.

බැසයන හිරු පසුබිම් කරගත් නතාලියාගේ ඡායාරූප ගොන්නක් මගේ ඩිජිටල් කැමරාවේ සටහන් විණි. ඡායාරූප සඳහා නිරූපනයේ යෙදීමට ඇය කිසිදු මැලි බවක් දැක්වූයේ නැත. මගේ පරිගණකයේ ඒ ඡායාරූප දෙස බලනා මාගේ සිත් ඇදගත් එක් ඡායාරූපයක් වේ.රාමුවේ කෙළවරක හිඳ නවාගත් හිසකින් යුතුව හිරු බැස ගිය මුහුද දෙස බලා සිටිනා නතාලියාගේ ඡායාරූපය ඇයගේ ජීවිතය ම සංකේතවත් කරනු වැන්න.


ඒ සමග ම වැල්ලේ සටහන් වූ අප දෙදෙනාගේ  පියසටහන් දැක්වෙන ඡායාරූපයද මගේ ප්‍රියතම ලැයිස්තුවේ ඉහළ තැනක වැජඹෙයි.ගූගල් සෙවුම් යන්ත්‍රය යොදාගෙන search කළ විටෙක මෙවැනිම ඡායාරූප මිලියන ගණනක් සොය ගත හැකි වුවත් ඒ අතර මගේ ඡායාරූපය සුවිශේෂයැයි මට හැඟේ. වෙරලට නොදැනෙන තරමට සියුම්ව තැබූ අඩි සලකුණු එක් පැත්තකට බරවූ බවක් පෙනේ.ඒ පා සටහන් හිමිකාරිය මිහිමත සිය පැවැත්ම පිළිබඳ අවිශ්වාසයකින් පෙළෙන බවකි.ඒ සමග ඇති අනෙක් පා සළකුණු බරය, සෘජු ය

කෙළිදෙලෙන් පසුවූ හෝරා කිහිපයකින් පසුව අපි කුටියට ඇතුළු වූයෙමු. දිය යට තෙරපාගෙන සිටි රබර් බෝලයක් එක් මොහොතකදී පොලා පනිනාක් මෙන් යටපත් කරගෙන සිටි අප හැඟුමන් පිටතට පැන්නේ එක් මොහොතකදී ම ය. මා තුරුළට ගුලිවූ නතාලියාගේ දෙතොල් මා දෙතොල් අපෙක්ෂාවෙන් ඉහළට එසැවෙනු දුටු මම ඊට ප්‍රතිචාර දැක්වූයෙමි.

ඇගේ සුසුම් උණුසුම් ය. දෙතොල් සීතල ය. හිසකේ සුවඳවත් ය. සිරුරෙන් අමුතුම උණුසුමක් ගල ආවේය. පියැවුණු දෙනෙත, පියැවුණු දෙතොල හරහා මගේ උණුසුම් හාදු පහලට ගල ආවේය. නිරාවරණය වූ ඇගේ රුව මා දුටු සුන්දරත ම දසුන යි.

මා ඔබේ රත් අදර උරන විට
තන පුඬුව ඊර්ෂ්‍යාවෙන් බරව
කලු පැහැ ව
උඩුහුරුව
ඒ දෙස බලමින් සිටී.
(මහගම සේකර -හෙට ඉරක් පායයි )

කාලය නැවතුනාක් සේ හැඟුණු හෝරා කිහිපයක් අපි උතුරන සතුටක ගිලී සිටියෙමු. සිත ගත සනසාලන හැඟීම් සමුදායකින් වෙලී සිටියෙමු.

රළ පෙළ වෙරළ වැළඳ ගත්තේය. නැවත කෙමෙන් කෙමෙන් වෙරළෙන් නික්ම ගියේය. යලිත් විත් වෙරළ තෙමා ආපසු සයුර බලා ඇදුනේය. වේගවත් ව ආ රැල්ලක් හඬක් නගා බිඳී පෙණ විසිරුවා වෙරළ වැළඳ නිහඩ විය.
දින දෙකක් පුරා බොහෝ වතාවක් රළ, වෙරළ වැළඳ ගති. බොහෝ වතාවක් පෙණ කැටි බිඳී වැලි අතර සැඟවිණි. වෙරළක් නොමැතිව සයුරක් ද, සයුරක් නොමැතිව වෙරළක් ද පැවතිය නො හේ.

8 comments:

  1. very nice...really gd writting..keep it up..wait for next part

    ReplyDelete
    Replies
    1. Thank you Shashika. you can read the next by Tuesday/wednesday

      Delete
  2. කතාව ලස්සනයි ඇත්තටම.. ඊලග කොටස බලාපොරොත්තුවෙන් ඉමි..

    ReplyDelete
  3. සම්පූර්ණ වෙනස් මාතෘකාවක් රැගත් නවකතාවක් උවත්, රචකයාගේ වෙනස් නව කතාවක් කලින් කියවා ඇති බව හැඟේ... familiar signs in unfamiliar territory....

    ReplyDelete
    Replies
    1. තිසර එක්ක එකඟයි..ඒ අපි ඒ රචකයා වැන්නෙක් එනකම් බලා ඉඳින නිසාද?
      ඔහු ඇති කල හිඩැස පිරෙවේවි යැයි බලාපොරොත්තු වෙන නිසාද?

      කොහොම වුනත් දිගටම ලියන්න කතාකරුට සුභ පැතුම්..
      දැනට නොවැදගත් යැයි හැඟෙන සිද්දීන් උලුප්පා දක්වන්නේ පසුවට වැදගත් නිසාද?
      කොහොම වුනත් වෙනස් කතාවක් යැයි හැඟේ..

      Delete
    2. ස්තුතියි. බ්ලොග් අවකාශයේ ලියන්නට ඇති එක ම උත්තේජනය ඔබගේ කමෙන්ටු සහ හිට්ස් ගණන පමණි.
      මා මුලින්ම කී පරිදි අතීශය සන්වේදී මිනිසෙකුගේ කතාවකි. ඔවුහු කුඩා සිද්ධීන්ට පවා ප්‍රතිචාර දක්වති.

      Delete
  4. මින් පෙර කිසිදු දිනෙක කිසිදු නවකතාවක් ලියා නැත. විවිධ මාතෘකා ඔස්සේ පුවත්පත් සඳහා ලිපි සැපයීම කොට ඇත. 

    ReplyDelete

Like to hear what you have to say.