Wednesday, November 20, 2013

(05) මේ පාළු සීත රාත්‍රියේ, කියා දෙන්න රහසින්, ප්‍රේමය නම් කිමැයි කියා

When you are happy, you enjoy the music. But when you are sad, you understand the lyrics - Frank Ocean

මා අද ඉදිරිපත් කරන්නේ සන්තුෂ් බ්ලොග් අඩ්වියක් සඳහා 2010.03.20 දින ලියන ලද ගීත විචාරයකි. ඔහුගේ ගීත විචාරයක් මේ කතාවට අදාල වන්නේ කෙසේදැයි පාඨක ඔබ සිතනු ඇත. සන්තුෂ් ම ඔහුගේ ලිපියෙහි ලියන පරිදි අප වඩාත් කැමැත්තෙන් අසන්නේ අපගේ මනෝභාවයන්ට ආසන්න හැඟීම් ඇති ගීතයන් ය. සන්තුෂ්ගේ ගීත විචාරයෙන් ඔහු කියැවීමට උත්සාහ කරන්න.

-ප්‍රසන්න


මේ පාළු සීත රාත්‍රියේ, කියා දෙන්න රහසින්, ප්‍රේමය නම් කිමැයි කියා -සන්තුෂ් දිසානායක

සංගීතය පිළිබඳ මා අසා ඇති හොඳ ම නිර්වචනයක් වන්නේ "ශ්‍රවණය කළ හැකි හැඟීම්" යන්න යි.
අප රස විඳින බොහෝ ගීත එම වකවානුවේ හෝ එම මොහොතේ රස විඳින්නේ අප සිත් තුළ ඇති හැඟීම් සමුදායට අනුකූල වීම නිසාය. අපගේ ප්‍රියත ම ගීත අතර එක් එක් මනෝභාවයන්ට උචිත ගීත කිහිපයක් ම තිබීම අරුමයක් නොවේ.

මෙවන් පිවිසුමකින් මෙම විචාරය ඇරඹුනද එහි අරමුණ නව ගීතයක් පිළිබඳව විචාරයක් ලිවීම නොවේ.බොහෝ කලක සිට අප ශ්‍රවණයට නැගෙන චන්ද්‍රලේඛා පෙරේරාගේ " මේ පාළු සීත රාත්‍රියේ ගීතය අද විචාරයට ලක්වේ.

ප්‍රියානන්ද විජේසුන්දරගේ  පද රචනයක් වන මෙම ගීතය මුල් වරට අසන්නට ලැබුනේ 1980 දශකයේ බව මගේ මතකයයි. එහෙත් අද මා අතින් විචාරයට ලක්වන්නේ "අනුෂ්කා සෝමතිලක" නම් තරුණ ගායිකාවගේ නව ගැයුමකි.

ගීත විචාරයකදී මුල් ගීතය යොදා ගැනීම මගේ ප්‍රතිපත්තිය වුවත් අනුෂ්කා සෝමතිලකගේ ගීතයේ වූ සුවිශේෂතා රැසක් එම ප්‍රතිපත්තිය බිඳලීමට සෑහුනි. චන්ද්‍රලේඛා පෙරේරාගේ මුල් ගැයුමට වඩා අනුෂ්කා සෝමතිලකගේ ගැයුම මා හද බැඳ ගැනීමට සමත්වූ බව නොසඟවා කිව යුතුය. මුල් ගැයුමේ නොඇසුණු හැඟුමන් රැසක් අනුෂ්කාගේ ගැයුමේදී අසන්නට ලැබෙන බව යූ ටියුබ් වීඩියෝව නරඹන ඔබ මා හා එකඟවනු නොඅනුමානය. (මේ විඩියෝව සන්තුෂ් විචාරයට ලක්කල වීඩියෝවට පසුව අන්තර්ජාලයට මුදාහල විඩියෝවකි. මුල් වීඩියෝව සොයාගත නොහැකි විය - ප්‍රසන්න)


හැඟුමන් ගායනය ගීතයකදී එහි අර්ථය අසන්නා වෙත සම්ප්‍රේෂණය කිරීමේ උචිතම මාර්ගය යි. සංගීතයෙන් අදාල හැඟුම ප්‍රකාශයට පත් කළ හැකි වුවත් සංනිවේදනයේදී මිනිස් කටහඬ තරම් ප්‍රබල මාධ්‍යයක් තවත් නැත.

"මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"

අනුෂ්කාගේ හඬ "පාළු" සහ "සීත" යන වදන් යුග්මය උච්චාරනය කරනුයේ අසන්නාගේ ගතට ඒ හැඟීම් දැනවෙන ආකාරයට ය. ඒ හැඟීම් මැද සිත ඉන් මිදවිය හැකි හොඳ ම හැඟීම ප්‍රේමය නො වේ ද? අනුෂ්කා "ප්‍රේමය" යන් වදන ගයන්නේත් එම සිතුවිල්ලම උත්කර්ෂ්වත් වන ආකාරයකට ය.
මෙම අපූරු ගීතයේ තේමාව වන්නේ තම පෙම්වතාගෙන් දුරක සිටින පෙම්වතියක් ඔහුගේ ඇසුර පතනා ආකාරයයි.ප්‍රේමය හා අනුරාගය මුසුවූ හැඟීමකින් ඇය පෙළෙයි. මුළු ගීතය ම ඇයගේ අනුරාගයේත් විප්‍රයෝගයේත් ප්‍රකාශනයකි.

"නිදිමත තරුකැට කඩා වැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිනව බලා හිදී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"

තරුකැට ද, සඳ ද අඳුරට ඉඩදී බලා සිටින්නේ මේ යුවලගේ අඩ නුවන් දැක ගැනීමටයි. ඇය බලා සිටිනුයේ ඔහු ඇයගේ ළය මඬල මත ඔහුගේ මුහුණ හොවාගෙන ප්‍රේමය යනු කිමෙක්දැයි ඇයට කියාදෙන තෙක් ය. කෙතරම් ශෘංගාරයක් ද? අනුෂ්කාගේ මෝහනීය හඬ ශ්‍රවණය වන විට අප ද මේ හැඟීමට පොළඹවයි.
මෙම කොටස ගැයීමේදී අනුෂ්කා පදමාලාව වරදවා ගායනය කරයි. ඇය ගයන්නේ
"දකින තුරා හැඩ නුවන් ඔබේ
සඟවා ළය මත ඔබෙ පණ රහසින්" යනුවෙනි. ඒ ගීතයේ ශෘංගාරය දනවන කොටස අත හැරීමකි. පදමාලාව නිසි ලෙස ගැයීමට ඇය සැලකිලිමත් විය යුතුව තිබිණි.

"ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් බිඳී
පිණි කඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් මෙයයි කියා"


මුළු පරිසරය ම ඉල්ලා සිටින්නේ පෙම්වතුන් දෙදෙනාගේ එක්වීමයි. ගහකොළ නිසලව හිඳී. පිණි වැටෙන්නේද කඳුලැලි මෙනි."සුසුමක් සුසුමට ලං කර ප්‍රේමය නම් මේ යැයි' කියා දෙන ලෙස පෙම්වතිය කියයි.
ප්‍රේමයෙන් ආනන්දයට පත් වූ යුවලකගේ දුරස්ථවීමේ විප්‍රයෝගය ගැන් ගැයෙන මේ ගීය යහපත් ගීතයකට පූර්වාදර්ශයකි.චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬට වඩා අනුෂ්කා සෝමතිලකගේ හඬ මාධූර්යය ගීතයේ තේමාව හා ගැලපේ.

අනුෂ්කාගේ සම්පූර්ණ වීඩියෝව පුරා ම දැක්වෙන්නේ ඇය අසුන්ගෙන ගීතය ගයනා අයුරුය. ඇය සිය හැඟීම් නිරූපනය කිරීමට සාත්වික අභිනය ද යොදා ගනී. ඉතා සියුම් චලනයන්ගෙන් ඇය ඉතා සූක්ෂම ලෙස භාව ප්‍රකාශ කරයි.

සිය සහකරුගේ හෝ සහකාරියගේ ඇසුරින් ඈත්වී සිටිනා එහෙත් එයම පතනා පෙම්වතියකට හෝ පෙම්වතෙකුට මේ ගීය සිය මනෝභාවයන් හා කදිමට සුසර වනු ඇත. වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනක් අනුෂ්කා සෝමතිලකගේ මධුර හඬින් ගැයෙනු ඇසීමට ලොබ බඳිනු ඇත.මා හට සිදුවූ වූයේද එය ම විය හැක.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. තිසර,
    නිවැරදි කලා. ස්තුතියි පෙන්වා දුන්නාට.

    ReplyDelete
    Replies
    1. අන් අයගේ රසවිඳීමට බාධාවක් නොවෙන්න මම ඉහත කොමෙන්ටුව ඉවත් කලා.

      Delete
  3. හරිම ලස්සන පද් රචනයක්.. ස්තුතියි !

    ReplyDelete
  4. ලස්සන සිංදුවක්.. මම අදයි ඇහුවේ..

    ReplyDelete

Like to hear what you have to say.