Thursday, November 12, 2015

මාදුළුවාවේ සෝභිත හිමි - ජනතාවගේ භික්ෂුව





සෝභිත හිමි පිලිබඳව යමක් ලිවිය යුතු ම නිසා ලියමි.

උන්වහන්සේගේ ශාසනික සේවාව පිලිබඳව සාකච්ඡා කිරීමට අදහස් නොකරමි. එය මාගේ වපසරියෙන් බැහැර ය. ඒ කෙසේ වෙතත් සෝභිත හිමිගේ සැබෑ වටිනාකම ඇත්තේ යතිවරයකු ලෙස නොව සමාජ ක්‍රියාකාරිකයකු ලෙස බව ය මාගේ හැඟීම.

සෝභිත හිමියෝ සමහර විටෙක සමාජ බලපෑම් කණ්ඩායමක සාමාජිකයකු ලෙසත්, තවත් සමහර විටෙක ඒක පුද්ගල බලපෑම් කණ්ඩායමක් ලෙසත් ක්‍රියා කළහ. රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු ම හා උන්වහන්සේ ගැටුණු බව ප්‍රසිද්ධ ය.ඉන් බොහොමයක දී ප්‍රගතිශීලී තීරණ රැසකට මැදිහත් වීමට උන්වහන්සේට හැකිවූ බවද නොරහසකි.

මෙහි "ප්‍රගතිශීලී" යන වදනට මා හා එකඟ නොවන, සෝභිත හිමියන්ගේ මරණය පිලිබඳ සතුටු වන ප්‍රවීණ ගීත රචක, වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර වැනි පිරිස්ද සිටින බව අප අමතක කල යුතු නැත. සිංහල බෞද්ධයින් පිරිසක් බෞද්ධ හිමි නමකගේ මරණයකින් සතුටු වෙත් නම්, ඒ උන්වහන්සේ අතින් ඔවුනට බලවත පාඩුවක් හෝ සිත් රිදවීමක් විය යුතු නිසාය. ඒ අදාල හිමිනම යම්කිසි කටයුත්තකට සක්‍රීය ව දායක වූ නිසා ම විය යුතුය. "නිර්පාක්ෂිකව" නොසිට "පාක්ෂික" වූ  නිසා ම විය යුතුය . වරදානවලට තෘෂ්ණාවෙන් බැඳී හඬ අවදි  කළ යුතු මොහොතවල නිහඬව සිටිනා සංඝ පීතෲවරු වැඩසිටින රටක, හඬ අවදි කල සෝභිත හිමි වැනි භික්ෂුන් අද සමාජයට අවශ්‍ය ම වේ.

රජය සෝභිත හිමිගේ දේහය අලෙවි කරන්නේ යැයි විවිධ පාර්ශවවලින් චෝදනා නැගුනද, උන්වහන්සේගේ සාධනීය ගුණාංගයන් පිලිබඳ ව සමාජ කතිකාවතක් ඇතිවී, ඒ ගුණාංගයන් සාමාජයීය භික්ෂුවක මැනීමට මිනුම් දණ්ඩක් වනු පිණිස මේ මාධ්‍ය සංදර්ශන යහපත් ය.

1 comment:

  1. රටට අවැසිම මොහොතක සෝභිත හිමියන් අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක්.. පසුගිය කාලයේ හැම වීදියේ අරගලයකම, විකල්ප දේශපාලන වේදිකාවල, සංවාද මණ්ඩපවල උන්වහන්සේ හිටියා. එය විශාල ශක්තියක් වුණා හැමදෙනාටම. ඒ යෝධ ශක්තිය අහිමිවීමේ ආත්මාර්ථකාමී පසුතැවීම උන්වහන්සේ අහිමි වීමේ වේදනාවට වඩා වැඩියි ඇත්තටම.

    කම්මැලිකම් නොකර දිගටම ලියන්න.... දැල් වූ පහන් දැල් වී තිබේවා. සුන් වූ පැතුම් දළු ලා වැඩේවා...

    ReplyDelete

Like to hear what you have to say.